කාර්මික අපජල පිරිපහදුව සඳහා Electrocoagulation තාක්ෂණය උපයෝගී කර ගනිමු
ජලය අප සතු වටිනාම සම්පතකි. සිදුවන සීඝ්‍ර කර්මාන්ත වර්ධනය සහ නාගරික ජනගහණය වැඩි වීමත් සමඟ පිරිසිදු ජලය සඳහා අධික ඉල්ලුමක් පවතී. එම නිසාවෙන්ම ඵලදායී අපජල පිරිපහදුව අද වන විට වඩාත් කාලීන මාතෘකාවක් වී ඇත. රජයේ නියාමන ප්‍රමිතීන් සපුරාලීමට පමණක් නොව අපගේ පරිසරය සුරැකීමට ද තිරසාර ජල ප්‍රතිභාවිත ක්‍රමෝපායන්වල අවශ්‍යතාවය ඉතා වැදගත් වේ. විශාල වශයෙන් අපජලය නිපදවෙන කර්මාන්ත අංශයන් සඳහා එම අපජලය කාර්‍යක්‍ෂමව පිරිපහදු කිරීම සඳහා ප්‍රබල විසඳුමක අවශ්‍යතාවය පැන නගී. එයට පිළියමක් වශයෙන් Electrocoagulation තාක්ෂණය හඳුන්වා දිය හැක.
ජලය ප්‍රතිභාවිතය (නැවත භාවිතය) වැදගත් වන්නේ ඇයි?
නිෂ්පාදන ක්‍රියාවලියේ සිට සිසිලන පද්ධති දක්වා විවිධ කාර්මික ක්‍රියාවලීන්හි අත්‍යවශ්‍ය කාර්‍යභාරයක් ජලය විසින් ඉටු කරයි. ජල හිඟය ගෝලීය ගැටලුවක් බවට පත්වීමත් සමඟ, පිරිපහදු කළ අපජලය නැවත භාවිතා කිරීම හුදෙක් ක්‍රියාවලියක් පමණක් නොව; එය අපගේ ජල සම්පත් සංරක්‍ෂණය සඳහා අත්‍යවශ්‍ය පිළිවෙතකි. අපජලය ඵලදායි ලෙස පිරිපහදු කිරීම සහ නැවත භාවිතා කිරීම මගින් කර්මාන්තවලට ඒවායේ ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි අතර එය තිරසාර සංවර්ධනය සඳහා ද දායක වේ.
අපජලය පිරිපහදු කරන්නේ ඇයි?
කාර්මික අපජලය තුළ බැර ලෝහ, තෙල් සහ කාබනික ද්‍රව්‍ය වැනි බොහෝ අපවිත්‍ර ද්‍රව්‍ය අන්තර්ගත වේ. මෙම ජල දූෂක නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඒවා මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද බරපතළ හානි හෝ අහිතකර බලපෑම් සිදු විය හැක. අපජලය පරිසරයට මුදා හැරීමට හෝ නැවත භාවිත කිරීමට ආරක්‍ෂිත බව තහවුරු කර ගැනීම සඳහා වඩාත් කර්‍යක්‍ෂම අපජල පිරිපහදු ක්‍රම අවශ්‍ය වේ. පවතින සාම්ප්‍රදායික අපජල පිරිපහදු ක්‍රියා පටිපාටිවලට වඩා Electrocoagulation තාක්ෂණය බොහෝ වාසි සහිත ප්‍රවේශයකි.
කුමක් ද මේ Electrocoagulation තාක්ෂණය?
Electrocoagulation (EC) යනු අපජලයෙන් දූෂක ඉවත් කිරීම සඳහා ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් – ඇනෝඩයක් සහ කැතෝඩයක් භාවිතා කරන විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියකි. විද්‍යුත් විච්ඡේද්‍යය (සාමාන්‍යයෙන් ජලය) හරහා සෘජු ධාරාවක් (DC – Direct Current) ගමන් කිරීමෙන් ලෝහ අයන ඇනෝඩයෙන් ද හයිඩ්‍රජන් වායුව කැතෝඩයෙන් ද මුදා හැරේ. මෙම ක්‍රියාවලිය හේතුවෙන් හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණ සෑදීම හරහා අපජලයේ ඇති අංශු උදාසීන කර, ඒවා කැටි ගැසීමට මග පාදයි. අනෙකුත් ක්‍රම මෙන් නොව, Electrocoagulation මගින් මෙම කැටිති මතුපිටට පාවීමට හැකියාව ලබා දෙයි, එහිදී ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිය, නැතහොත් sludge ලෙස පතුලෙහි තැන්පත් වූ පසු ඉවත් කළ හැකිය.
අපි Electrocoagulation නිර්දේශ කරන්නේ ඇයි?
Electrocoagulation තාක්‍ෂණය පහත සඳහන් අකාරයට, දැනට පවතින සාම්ප්‍රදායික අපජල පිරිපහදු කිරීමේ ක්‍රමෝපායන්ගෙන් වෙනස් වේ.
- ඉහළ කාර්‍යක්‍ෂමතාව: Electrocoagulation මඟින් ජලයේ අවලම්බිත ඝන අංශු, බැර ලෝහ සහ ඇතැම් ද්‍රාවිත කාබනික ද්‍රව්‍ය පවා ඵලදායී ලෙස ඉවත් කර නැවත භාවිතයට සුදුසු පිරිපහදු කළ ජලය ලබා දේ.
- අවම රසායනික ද්‍රව්‍ය භාවිතය: රසායනික කැටිති කාරක ක්‍රියාවලීන් (Flocculation) මෙන් නොව EC තාක්‍ෂණය, ජල පිරිපහදුව සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරයි. එම නිසා පිරිපහදු කළ ජලයෙහි කිසිඳු සෞඛ්‍යට අහිතකර ද්‍රව්‍ය අවශේෂ වීමට ඇති සම්භාවිතාවය ඉතා අඩු වේ.
- නම්‍යශීලී බව: මෙම ක්‍රියාවලිය විවිධ කාර්මාන්ත මෙන්ම විවිධ වර්ගයේ අපලජලයන් පිරිපහදු කිරීම සඳහා සඳහා සුදුසු වන පරිදි පහසුවෙන් පරිවර්තනය කළ හැක.
Electrocoagulation හි ප්‍රතිලාභ
- පිරිපහදු කළ අපජලයේ ගුණාත්මකභාවය: මෙමගින් අපජලයේ Turbidity, TSS, COD සහ අනෙකුත් දූෂක ද්‍රව්‍යවල කැපී පෙනෙන අඩුවීමක් ලබා ගත හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැදිලි සහ ක්‍ෂුද්‍ර ජීවීගේන් තොර ජලය ලබා ගත හැක.
- අවම පිරිවැය: රසායනික කැටිති කාරක අවශ්‍යතා අඩුවීම සහ අඩු sludge ප්‍රමාණය සමඟ, මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගත හැක.
- පරිසර හිතකාමී: මෙය අඩු අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවන ක්‍රියාවලියක් වන අතර අතර අපජල කළමනාකරණය සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කරයි.
- මොඩියුලර් නිර්මාණය: කාර්මික අවශ්‍යතා වෙනස් වන විට පහසු පරිදි වැඩිදියුණු කිරීම් සහ අනුවර්තනය කිරීමට ඉඩ සැලසීමේ හැකියාව මෙයට ඇත.
අවශ්‍යතා අනුව, තාක්‍ෂණය වැලි පෙරහන් (sand filters) හෝ සෙරමික් පටල පෙරහන් (ceramic membrane filters) වැනි උසස් පෙරීමේ පද්ධති සමඟ ඒකාබද්ධ කර ඉතිරි අංශු කාර්‍යක්‍ෂමව ඉවත් කර අප තවදුරටත් අපජලය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ක්‍රියාවලියක් ලෙස වැඩි දියුණු කළ හැකිය. සෙරමික් පටල පෙරහන් විශේෂයෙන් ලවණ සහිත පරිසර තත්ව වල පවා අපජලය පිරිපහදු කිරීම වැනි දුෂ්කර යෙදුම් සඳහා හොඳින් ගැලපේ. වැලි පෙරහන් සාමාන්‍ය පරිසරයක් තුළ ඵලදායී හා ලාභදායී විකල්පයක් ඉදිරිපත් කළ හැකිය.
කර්මාන්ත විසින් අපජලය මුදා හැරීමේදී සිදුවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා විශාල පීඩනයකට මුහුණ දෙන බැවින්, Electrocoagulation තාක්‍ෂණය ඵලදායී අපජල පිරිපහදු කිරීම සඳහා ප්‍රබල විසඳුමකි. එහි කාර්‍යක්‍ෂමතාව, අවම පිරිවැය, ඵලදායීතාවය සහ නම්‍යශීලී බව හේතුවෙන් රජයේ නියාමන අවශ්‍යතා සපුරාලීමට මෙන්ම තිරසාර ජල ප්‍රතිභාවිත පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමටත් කදිම අපජල පිරිපහදු කිරීමේ ක්‍රමයකි. Electrocoagulation වැනි නව්‍ය තාක්‍ෂණයන් වැලඳ ගැනීමෙන්, අපට පිරිසිදු, වඩා තිරසාර අනාගතයක් සඳහා මග පාදාගත හැකිය.
අදහස හා සංකලනය
නිපැයුම් විශේසඥ – තරුෂි කාරියවසම්
අධීක්ෂණය
ප්‍රවීණ උපදේශක – ඉංජිනේරු සුමිත සුමනවීර
ඒ. බී. සී. වෙළඳ හා ආයෝජන පුද්ගලික සමාගම
- Published in Uncategorized