ජලයේ ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා, විශේෂයෙන් පානීය ජල සැපයුම් සඳහා භාවිතා කරන වැදගත්ම භෞතික පරාමිතීන්ගෙන් එකක් වන්නේ, ආවිලතාවයයි (Turbidity). එය මැටි, රොන්මඩ, සියුම් වැලි, කාබනික ද්‍රව්‍ය, ඇල්ගී සහ ක්‍ෂුද්‍ර ජීවීන් වැනි අවලම්භිත ද්‍රව්‍ය සහ කොලොයිඩල් අංශු පැවතීම නිසා ඇති වන පැහැදිලි බවක් නොමැතිකම ගැන සඳහන් කරයි. මෙම අංශු ආලෝකය අවශෝෂණය කර ගන්නා අතර, එම නිසා ආවිලතාවය Nephelometric ක්‍රමය භාවිතයෙන් දෘශ්‍යමය වශයෙන් මනිනු ලබන අතර, එය Nephelometric Turbidity Units (NTU) මඟින් ප්‍රකාශ වේ. ආවිලයතාවය අහිතකර නොවුනත්, එය ජලයේ ගුණාත්මකභාවය, පිරිපහදු කාර්යක්ෂමතාව සහ සෞඛ්‍ය අවදානම පිළිබඳ තීරණාත්මක වක්‍ර දර්ශකයකි.
ආවිලතාවය මහජන සෞඛ්‍ය දෘෂ්ටිකෝණයෙන් වැදගත් වන්නේ, අවලම්භිත අංශු, ඵලදායී විෂබීජහරණයට බාධා කළ හැකි බැවිනි. ඉහළ ආවිලතාවය බොහෝ විට රෝග කාරක ඇති කල හැකි බව පෙන්නුම් කරන අතර, ක්‍ෂුද්‍ර ජීවීන්ට පිරිපහදු ක්‍රියාවලීන්ගෙන් දිවි ගලවා ගැනීමට ඉඩ සලසන තත්වයන් නිර්මාණය කරයි.
විශේෂයෙන්, මෙම ආවිලතාවය:
• ක්ලෝරීන් සහ UV වැනි විෂබීජ නාශක වලින්, බැක්ටීරියා, වෛරස් සහ ප්‍රොටොසෝවා ආරක්ෂා කරයි,
• පිරිපහදු කළ ජලයේ ක්‍ෂුද්‍ර ජීවී පැවතීමේ සම්භාවිතාව වැඩි කරයි,
• අවසාන පියවර ලෙස සිදුකරන විෂබීජහරණ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය අඩු කරයි.
එහි ප්‍රතිපලයක් ලෙස, ජලයෙන් බෝවන රෝග වැළැක්වීම සහ ආරක්ෂිත පානීය ජලය සහතික කිරීම සඳහා, විශේෂයෙන් මතුපිට ජලය පදනම් කරගත් සැපයුම් පද්ධතිවල ආවිලතාවය පාලන කිරීම අත්‍යවශ්‍ය වේ.
ගෝලීය වශයෙන්, ජලයේ ආවිලතා ස්වභාවය සාමන්‍ය ගැටළුවක් පමණක් නොව තීරණාත්මක මෙහෙයුම් පාලන පරාමිතියක් ලෙස සැලකේ. ඵලදායී විෂබීජහරණය සහතික කිරීම සඳහා, පිරිපහදු කළ පානීය ජලයේ ආවිලතා ස්වභාවය හැකිතාක් අඩු මට්ටමක තබා ගත යුතු බවත්, සාමන්‍යයෙන් 1 NTU ට අඩු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරයි.
ශ්‍රී ලංකාවේ, මතුපිට ජල ප්‍රභවයන් සහ සෘතුමය වර්ෂාපතනය මත යැපීම හේතුවෙන්, ආවිලතා ස්වභාවය සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී. මෝසම් වැසිවල බලපෑම්, සහ ජල පෝෂක ප්‍රදේශවල ක්‍රියාකාරකම් බොහෝ විට ජල ආවිලතා ස්වභාවයේ වේගවත් වැඩිවීමක් ඇති කරයි. මේ සඳහා ප්‍රශස්ත මට්ටමේ පිරිපහදු ක්‍රියාවලීන් අවශ්‍ය වේ. පානීය ජල ප්‍රමිතියට අනුව (Drinking Water Quality Standards), 2 NTU ලෙස ආවිලතාවයේ සීමාවක් නියම කරයි.
ඉහළ ආවිලතා මට්ටම ජල පිරිපහදු යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයට සහ පිරිවැයට සෘජුවම බලපායි.
එයට හේතු වන්නේ:
• රසායනික ඉල්ලුම (Coagulant and chemical) වැඩි වීම,
• නිතර නිතර පෙරහන් පිරිසිදු කිරීමට සිදුවීම (Backwashing),
• ඉහළ බලශක්ති භාවිතය සහ අමතර ජලය අවශ්‍ය වීම,
• පෙරහන් අවහිරවීමේ අවදානමක් තිබීම, වේ.
මිට අමතරව ආවිලතාවය, ස්වභාවික ජල මූලාශ්‍රවල පාරිසරික බලපෑම් ද ඇති කරයි. ඉහළ ආවිලතා මට්ටම:
• ආලෝක විනිවිද යාම අඩු කරන අතර ප්‍රභාසංස්ලේෂණය සීමා කරයි,
• ජලජ වාසස්ථාන සහ මත්ස්‍ය හැසිරීම් වලට බාධා කරයි,
• දිගුකාලීන බලපෑමක් ලෙස ජල පෝෂක හායනය පෙන්නුම් කරයි.
ඵලදායී ජල තත්ත්ව කළමනාකරණය සඳහා ආවිලතා මට්ටම මැනීම සහ නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා,
• පිරිපහදු යන්ත්‍රවල අඛණ්ඩ අධීක්ෂණය සඳහා ආවිලතා විශ්ලේෂක (Online Turbidity Analyzers),
• ක්ශේත්‍ර සහ අනුකූලතා පරීක්ෂණ සඳහා රැගෙන යා හැකි ආවිලතා මීටර (Turbidity Meters),
• විල් සහ ජලාශ සඳහා Secchi Disk වැනි සරල ක්ශේත්‍ර ක්‍රම,
• වේගවත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා ක්ශේත්‍ර පරීක්ෂණ කට්ටල (Test Kits).
ආවිලතාවය යනු මහජන සෞඛ්‍ය ආරක්ෂාව, පිරිපහදු කාර්යක්ෂමතාව, මෙහෙයුම් පිරිවැය සහ පාරිසරික තිරසාරභාවයට බලපාන මූලික පරාමිතියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි මතුපිට ජලය මත යැපෙන කලාපවල, ආරක්ෂිත සහ විශ්වාසදායක පානීය ජලය සැපයීම සඳහා සාධාරණ ලෙස ළඟා කර ගත හැකි තරම් අඩු ආවිලතා මට්ටමක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Author – සංචිලා හපුතැන්න
